හරක්කටා සහ සළිඳු හෙට දිවයිනට ගෙනෙයි


(ඉන්දිකා රාමනායක)

පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ  අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ පානදුර සළිදු ලක්ෂිත යන දෙදෙනා හෙට (14) අලුයම මෙරට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒම සදහා ඉකුත් (11) දින මෙරටින් මැඩගස්කරය බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බළකාය කණ්ඩායම මැඩගස්කරය බලා ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු, විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු කණ්ඩායමට මෙම පිරිසට අයත් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම කණ්ඩායම මැඩගස්කර බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ඉහත සැකකරුවන් දෙදෙනා මෙරට නිලධාරී කණ්ඩායම වෙත බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.