හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන ඒම හෙටට කල්යයි


(ඉන්දිකා  රාමනායක)

පෞද්ගලික ජෙට් යානයකින්  මැඩගස්කරයට ගොස් සිටියදි   පසුගියදා එරට ආරක්ෂක අංශ විසින්  අත්අඩංගුවට ගෙන සිටි මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත්  පානදුර සළිදු  මෙරටට රැගෙන ඒම   ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන්  හෙට  (15) දක්වා කල්ගොස් ඇති බව   පොලිස් ආරංචි මාර්ග පවසයි.

 මොවුන් දෙදෙනා අද (14)  පෙරවරුවේ මෙරටට රැගෙන එමට නියමිත තිබුණද කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපොළේ පැය 12 ක ගුවන් ගමන් ප්‍රමාධයක් හේතුවෙන්    මෙම තත්ත්ව උද්ගත වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මැඩගස්කරයේ  සිට  කටුනායකට සෘජු ගුවන් ගමන් පහසුකම් නොමැතිකමින්  කෙන්යාවේ සිට බුම්මාබයි දක්වා පැමිණ මුම්බායි සිට  කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
 පැය 10 ක ගුවන් ගමන් ප්‍රමාධයකින් පසුව  ඊයේ   පිරිස  මුම්බායි වෙත ගොස් තිබුණ ද  මුම්බායි සිට  කටුනායක බලා ගමන් ගන්නා ගුවන් යානය ඒ වනවිටත්  පිටත්ව ගොස් ඇති හෙයින්   සැකකරුවන් දෙදෙනා  මෙරටට රැගෙන ඒම  අද දක්වා කල්ගොස් ඇත.

සැකකරුවන් දෙදෙනා   මෙරටට රැගෙන ඒම සදහා  ඉකුත් (11) දින මෙරටින් මැඩගස්කරය බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බලකාය  කණ්ඩායම   මැඩගස්කර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සමග දැඩි ආරක්ෂාවක් යටතේ   අද මෙරටට පැමිණීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි

මොවුන් මෙරටට රැගෙන ඒමෙන් පසුව අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන   සම්බන්ධයෙන් විමර්ශක සිදුකරන  විශේෂ කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන් තොටින්  බාර ගැනීමට නියමිතව ඇත.