හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි සොයන්න බලය පවරයි


 

(අංජුල මහික වීරරත්න)

 කැරලිකරුවන් අතට ගිනි අවි යාම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බැවින් හමුදාවෙන් පැහැර ගන්නා ලද ගිනි අවි හැකි ඉක්මනින් ආරක්ෂක අංශ භාරයට ගැනීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට හමුදාපති වරුන්ට සහ පොලිස්පතිට බලය පැවරීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්විය.

රටෙි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපති වරුන්ට සහ පොලිස් පතිට අවශ්‍ය බලතල ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙි.

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගැනීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට තිබෙන අයිතිය රැකීමටත්  ඕනෑම පියවරක් ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණයකට එළඹ ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින් මන්ත්‍රීවරයකු හෝ හැසිරෙන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමටද මෙහිදී තීරණය වී ඇත.

පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඉකුත් 13 වෙනිදා රාත්‍රී  නොසන්සුන්තාවයක් ඇති කරන ලද්දේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් බවද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇති අතර එම සිද්ධියේදී හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි දෙක සෙවීම සඳහා සුදුසු ඕනෑම පියවරක් ගැනීමට ආරක්ෂක අංශයට බලය පැවරීමට ද මෙහිදී තීරණය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරයකු හෝ ඊට බාධා කරන්නේ නම් ඔහුට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.