හමුදා සේවය හැර ගිය අයට පොදු සමාකාලයක්


(ඉන්දිකා රාමනායක)

හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් හෙට (05) දින සිට (12) දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව හමුදාව පවසයි.

72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කර ඇති බවද හමුදාව සඳහන් කරයි.

2019 සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව  ත්‍රිවිධ හමුදා සේවය  හැරගොස් සිටින සාමාජිකයින්ට පමණක් මෙම පොදු සමාව හිමිවන  බව හමුදාව පවසයි‍ෙ

නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට අපේක්ෂා කරන යුද හමුදා සාමාජිකයින්ට මෙම කාල සීමාව තුළ එම අවශ්‍යතාවයන් ඉටු කරගැනීමේ හැකියාවක් පවතින අතර ආධුනික පුහුණුවීම්වල යෙදී සිටියදී සේවය අතහැර ගොස් ඇති සාමාජිකයන්ට ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන හෝ ආධුනික පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට  අවස්ථාව හිමිවේ.

වැඩබලන ආරක්ෂයක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ සඳහා ලබාදුන් උපදෙස්  යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ  මණ්ඩලය මීට අදාළ සියලුම අංශයන් වෙත දැනුම් දී ඇති බවද හමුදාව පවසයි.

පොදු සමා කාලය තුළ  පැමිණෙන ත්‍රීවිධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය විදේශ ගමන් බලපත්‍රය හෝ එහි පිටපතක්,  එම ලේඛන තම සන්තකයේ නොමැති නම් සිය බැංකු පොතේ ඡායා පිටපතක් හෝ අදාළ ග්‍රාම නිලධාරියා විසින් නිර්දේශ කරන ලද ලිපියක් , නොඑසේනම් අදාළ ලිපි ලේඛන අස්ථානගත වී ඇති බවට කිසියම් වූ පොලිස් ස්ථානයක සිදු කරන ලද පැමිණිල්ලක පිටපතක් රැගෙන එන ලෙසට හමුදාව දැනුම් දෙයි.

ඉහත සියළු අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති අයට තාවකාලික අස් කිරීමේ ලිපියක් නිකුත් කිරීමෙන් පසු දිනක් ඇතුළත ඔවුන්ගේ අස්වීම ලබා ගත හැකි බවත්  එම ක්‍රියා පටිපාටි අවසන් වන තුරු කඳවුරුවල රැඳී සිටීමට අපේක්ෂාව කරන සාමාජිකයන්ට ඔවුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය දින දෙකකට සෑහෙන පරිදි රැගෙන එන ලෙස ඉල්ලා සිටියි.