හන්තානේ ඉඩම් කැබලි කිරීම නවතී


( ෂේන් සෙනෙවිරත්න)

හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20 ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නියෝග කොට තිබේ .

ආණ්ඩුකාරවරයා එම නියෝගය නිකුත් කොට සිටියේ අද (25) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය .

හන්තාන වත්ත පහල එක්සත් සුබ සාධක සංගමය විසින් ඉදිරිපත් කොට තිබූ ලිපියක් සලකා බැලීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා එම නියෝගය නිකුත් කළේය .

අධි සංවේදී පරිසර කලාපයක් මෙන්ම ජල පෝෂක ප්‍රදේශයක් ද වන හන්තාන පරිසර පද්ධතිය තුළ පරිසර ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු විය යුතු යැයි එහිදී පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා එම ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු යැයි ද පැවසීය .

වර්ෂ 1993දී මහනුවර නගරයට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දීමට සිදු වූ බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කන්ද උඩරට පරිසර හානිය බවත් පෙන්වා දුන් ඒ මහතා එම ඉඩම් කට්ටි කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන මගින් විධිමත් වාර්තාවක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලබා දිය යුතු යැයි ද අවධාරණය කළේය .

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් ගුණතිලක රාජපක්ෂ, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය .