(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
සේනා දළඹුවා විනාශ කළ හැක්කේ කෘමින් බෝ කර මුදා හැරීම සඳහා පර්යේෂණ සිදු කරන බව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ මහතා කීය.
මේ සියල්ලට අමතරව ජෛව පාලනය මගින් මේ දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට පර්යේෂණ පවත්වමින් සිටින බවද ඒ මහතා කීය.
දේශීය බඩ ඉරිඟු වගාව ඇතුළු වගාවන් රැසකට සේනා දළඹුවා හානි කරමින් පවතී.
පාලනය කිරීමට සියලු උපක්‍රම භාවිතා කිරිමට ගොවීන් ඇතුළු සියලු දෙනා ක්‍රියාත්මක විය යුතු බව පේරාදෙණිය ගන්නෝරුව පිහිටි පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී අද (18) පැවැති වැඩමුළුවක ප්‍රධාන දේශණය පවත්වමින් ඒ මහතා එසේ කීය.
සේනා දළඹුවා පාලනය කිරීම සම්බන්ධයෙන් හා එහි හානිය සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ රජයේ නිළධාරින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්විණි.
මෙහිදී තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කීට විද්‍යාඥ එස්.එස් වැලිගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.
මේ සේනා දළඹුවා ලංකාවෙන් වාර්තා වෙලා මේ වන විට මාස තුනක් හතරක් පමණ ගත වෙලා තියෙනවා. මේ දළඹුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ තෘණ කුලයේ ශාකවලටයි. විශේෂයෙන් බඩ ඉරිඟු සහ වී වැනි ශාකවලටයි. එපමණක් නොව වෙනත් බෝග වර්ග සියයකට පමණ හානි කරන්න මේ දළඹුවාට හැකියාව තිබෙනවා. එපමණක් නොව විශේෂයෙන් සැඟව සිට ආහාර ගනිමින් ශාකය විනාශ කිරීමේ හැකියාව මේ දළඹුවාට තිබෙනවා. මේ දළඹුවා විනාශ කිරීම සඳහා උපයෝගී කරගත හැකි සියලු උපක්‍රම උපයෝගී කර ගත යුතුයි.
මේ දළඹුවා පාලනය කිරීම සඳහා වන විට විවිධ උපක්‍රම රැසක් සොයා ගෙන තිබෙන බවත් තවත් උපක්‍රම පිළිබඳව පර්යේෂණ පවත්වමින් තිබෙන බවත් ඒ මහතා කීය.
එම උපක්‍රම අතර ප්‍රමාද වී වගා නොකිරීම සහ සාමූහිකව වගාව ආරම්භ කිරීම, ප්‍රමාද වී වගාව ආරම්භ කිරීමෙන් හානිය වැඩිවන බවත් බීජ ප්‍රතිකර්ම යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ඒ මහතා කීය.
වගාව සඳහා යූරියා වැනි පොහොර වැඩියෙන් භාවිතා කිරීමෙන් වැළකී නිර්දේශිත පොහොර ප්‍රමාණය පමණක් භාවිත කිරීම, කෘමිනාශක වර්ග 13 ක නිර්දේශ ලබා දී තිබෙන බවත් කී ඒ මහතා වඩාත් පරීක්ෂාවෙන් සිට ආරම්භක අවස්ථාවේදීම දළඹුවා විනාශ කර දැමීමත් බිත්තර විනාශ කිරීමත් වඩාත් සුදුසු බවත් කීය.