සුසිල් පෙත්සම්කරුවන්ට දෙහි කපයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාස හයක අතුරු තහනම් නියෝගය නිසා පාසල්වලට විදුහල්පතිවරුන් බඳවා ගැනීමට නොහැකිවී ඇති බවත් මෙයින් අසාධාරණයට පත් වන්නේ දරුවන්ට යැයි  මේ පෙත්සම් දාන අයට තේරෙන්නේ නැද්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ   මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශ්‍රාම ගුරුවරුන් පළාත් සභාවලට බඳවා ගැනීමට ඉදිරි සති දෙක තුළදී බලය දෙන බවද ඔහු කීවේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අතුරු තහනම් නියෝගවලට කාලයක් තියෙන්න ඕන. ඒ සඳහා සිවිල් නඩු විධි විධාන සංග්‍රහයේ  සංශෝධනයක් ඇති කළ යුතුයි.  සංශෝධනයක් ගේන්න කියලා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.  මාස හයක් අතුරු නියෝගයක් දෙනවා. විදුහල්පතිවරුන් පත් කරන්න බැහැ. අපි සම්මත කරලා දෙනවා.  මේ වගේ දේවල් නිසා  අසාධාරණය පත් වන්නේ දරුවන්. මේවා දාන පෙත්සම්කරුවන්ට මේක  තේරෙන්නේ නැද්ද. මේක ඉඩම් නඩුවක් නෙමෙයි. අතුරු තහනම් නියෝගයක් කියන්නේ ඒ වගේ දෙයක් නොවෙයි. අතුරු තහනම් නියෝගය සදාකාලික නියෝගයක් වෙන්න බැහැ. විශ්‍රාම ගුරුවරුන් බඳවා ගන්න මීලඟ සති දෙක තුළ  පළාත් සභාවලට බලය දෙනවා.

ගුරු පුරප්පාඩු 32,000 ක් තියෙනවා. නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශ වලට යෙදවීම නිසා ඒ අංශය පිරිහීමට ලක්වෙලා තියෙනවා.

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය

අවුරුද්දක් තිස්සේ ගුරුවරුන් පත් කරන්න බැරුව ඉන්නවා.  දරුවන්ට වෙන විනාශයට  මෙතන ඉන්න හැමෝම වගකියන්න ඕන.