(පැතුම් දර්ශන)
ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන වෛද්‍ය සහතිකයක් නොමැතිව වෙනත් වෛද්‍යවරයකුගේ නම භාවිතා කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය කියයි.
වෛද්‍යකරණයට නුසුදුසු අයෙකු විසින් හොරොව්පොතාන නගරයේ රෝගීන්ට ප්‍රතිකාර කරන බවට හොරොව්පොතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරපාර මල්ලව පිටිය කුරුණෑගල ලිපිනය පදිංචි (30) හැවිරිදි වෛද්‍යවරයෙකි.
මොහු 2018 වසරෙ 05.22 දින සිට හොරොව්පොතාන ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පොතාන නගරය ආසන්නයේ පිහිටි "සුවසහන" නමින් හඳුන්වන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කරමින් රෝගීන්ට ප්‍රතිකාර සිදු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.
සැකකාර වෛද්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රතිකාර සම්බන්ධයෙන් රෝගීන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් දිනෙන් දින ලැබුණු පැමිණිලි පිළිබඳව තමන් විසින් විමර්ශනයක් සිදුකළ බවත් එහිදී මෙම වෛද්‍යවරයාට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවසරයක් සහ දැනුවත්භාවයක් නොමැති බවටත් තොරතුරු සොයාගත් බව හොරොව්පතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා දැනුවත් කළ බවත් එම දැනුවත් කිරීම් නොතකා ඔහු දිගින් දිගටම ප්‍රතිකාර කිරීම සිදුකිරීම නිසා මෙලෙස පැමිණිලි කළ බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (03) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

