සුදුවෑන් රථවලින් ආ පිරිසක් සමූපකාර නිලධාරියකු පැහැර ගනිති


(එස්. ඩී. කොඩිකාර)
 
මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු අද  (19) සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී  පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර  ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන  45 හැවිරිදි  දෙදරු පියෙකි.

එම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා  නැවත පැමිණෙමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව ඇත.

එම වෑන් රථ දෙකෙහි  ඉදිරිපස අංක තහඩු නොමැති බවත්,  එයින් එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසට සහ  අනෙක් රථය කොටපොල දෙස සිට ඌරු බොක්ක දෙසට ධාවනය වූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.

නගරය අවට සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප - ජයන්ත නානයක්කාර