සී.අයි.ඩීයේ වැඩ ගැන රතන හිමිගෙන් සොයාබැලීමක්


(විනීතා එම්. ගමගේ)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයා  පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයෙන්  ප‍්‍රකාශ ලබා ගැනීමේ දී ඔවුන් බිය ගන්වා තොරතුරු ලබාදීම වළක්වා ඇතැයි සිද්ධිය  පිළිබඳ සොයා බැලීමේ දී හෙළි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

ප‍්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේ පොලිස් අධිකාරි තිසේරා මහතා විසින්  ”සැත්කම සිදුකරන මොහොතේ ඒ පිළිබඳව නොකීවේ ඇයි? දැන් කියලා අමාරුවේ වැටෙයි අපට සිදුවෙනවා ඔබලාට විරුද්ධව ක‍්‍රියා කරන්න” ආදී වශයෙන් පවසා රෝහල් කාර්ය මණ්ඩලය බිය ගන්වා ඇතැයි දැනගන්නට ලැබුණු  බව සදහම් සෙවනේ අද (3) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ හිමියෝ පැවසූහ.

රෝහල මඟින් සිදුකළ විමර්ශනයේ දී කාර්ය මණ්ඩලය ලිඛිතව තොරතුරු ලබා දී ඇතැයි පැවසූ රතන හිමියෝ යම් පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු හෙළිදරව් කරගැනීමට කටයුතු කළයුතු වුවද මෙම පරීක්ෂණයේ කරුණු වසන් කිරීමට උත්සාහ දරා ඇති බව නිරීක්ෂණය වන බව ද පැවැසූහ.

මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු සිංහල මව්වරුන්ට ඇති වූ සංකූලතා කිසිම මුස්ලිම් මවකට ඇතිවී තිබේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තොරතුරු රැස්කිරීමක් සිදුකර නොමැති බවත් ස්වාධීන විමර්ශන නිලධාරීන්ගේ ආචාර ධර්මවලට එය එකඟ නොවන බවත් කී උන්වහන්සේ රෝහල වෙත ලැබී ඇති පැමිණිලි 850 අතරින් 11 ක් සෟජුවම නීත්‍යානුකූල නොවන වඳ සැත්කම් සම්බන්ධයෙන් වන ඒවා බව ද පැවැසුහ.

කැමැත්තකින් තොරව එසේකිරීම ඉතා බරපතල වරදක් යැයි ද  මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නොමැති බව ද පෙන්වා දුන් රතන හිමියෝ වඳ සැත්කම් සඳහා සිංහල / දමිළ මව්වරුන් පොළඹවන බවට ද චෝදනාවක් ඇතැයි කීහ.

මොහමෙඞ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා ඉතා අඩු කාලයක් වැය කරන බවටත් මුස්ලිම් මව්වරුන් සදහා වැඩි වේලාවක් ගතකරන බවටත් රෝහලේ තොරතුරු මගින් සනාථ වී ඇති බවද  මේ පිළිබවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නැතැයි ද උන් වහන්සේ කීහ.

මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන සිසේරියන් සැත්කම්වලදී මැහුම් දැමීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා එක් මැස්මකුත්, මුස්ලිම් මව්වරුන් සඳහා මැහුම් දෙකකුත් යොදමින් දෙයාකාරයකින් කටයුතු කරන බවට තොරතුරු ඉදිරිපත් වී ඇතැයි කී රතන හිමියෝ මැහුම් දැමීමේදී අනුගමනය කරන ක‍්‍රියාපටිපාටියද මදසරුභාවය ඇතිවීමට බලපෑ හැකිබවට වෛද්‍යවරුන් පවසා සිටින බව ද පැවැසූහ.

ඉහත තොරතුරු අනුව මෙම වෛද්‍යවරයා විසින් සිදුකල සැත්කම්වලින් මව්වරුන්ගේ ගර්භාෂයට හානිවීම් සිදුකර ඇති බවට විද්‍යාත්මක සාධක ලැබී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නැති බව නිරීක්ෂණය වී යැයි උන්වහන්සේ තවදුරටත් කීහ.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මූලික විමර්ශනයේ දී එක්තරා වෛද්‍යවරයකු තමා හමුවේ හැගීම්බර ප‍්‍රකාශයක් කළ බව පවසමින් නිලධාරියා ද හැගීම්බරව අදහස් ඉදිරිපත් කරමින් අධිකරණයේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සහ ගන්නා බවක් දක්නට ලැබුණු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.