( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකාරයෙන්ම තබා ගන්නා බව නීතිපතිවරයා අද (25) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ චාරුක ඒකනායක මහතා විසින් අධිකරණය හමුවේ මෙම එකඟත්වය පළ කළේය.
ඒ අනුව එම සායනික අපද්‍රව්‍ය පවතින ස්ථාන වලින් වෙනත් ස්ථානයකට ගෙන නොයාමටත්, එම කිසිදු අපද්‍රව්‍යයන් පරිසරයට මුදා නොහැරීමටත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙන ලදී.
යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේ දී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් අද (25) අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම එකඟත්වය පළ කළේය.
අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මිය මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි. ජීවවිද්‍යා උපාධිධරයෙකි.
සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත. මෙම විදෙස් කැළි කසළ මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම, ජනතාවගේ සෞඛ්‍යයට ද හානි සිදුවේ.
මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත. මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ජාතික පරිසර පනතෙහි විධි විධාන උල්ලංඝණය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසළ ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද, මෙවැනි විදෙස් කැළි කසළ ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

