සෆාරි ජීප් ගාස්තුත් ඉහළ දමයි


(යොහාන් භාසුර සහ අමිල සම්පත් ශ්‍රී)

යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා අද (29) පැවසීය.

ඒ අනුව ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වා ද, දිනක සංචාරක ගාස්තුව රුපියල 28,000 සිට 30,000 දක්වා ද, ඉහළ දැමූ බවත් මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වා ද, දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ද, ඉහළ දැමූ බවත් ඒ මහතා කීය.

යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ ජීප් රථ 475 ක් පමණ ලියාපදිංචි වවී සිටින බව කී ඒ මහතා ඉන්ධන වියදම සහ වාහන අමතර කොටස් මිල ඉහළ යෑම නිසා ජීප් රථ හිමියන් ව්‍යාපාරයෙන් ඉවත්වෙමින් සිටින බව ද සඳහන් කළේය.

මෙම ව්‍යාපාරයට සම්බන්ධව සිටින අතරමැදියන් නිසා ජීප් රථ හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව කී ඒ මහතා පැවසුවේ සිය සංගමයේ සාමාජිකයන් අය කරන ගාස්තුව විදේශ සංචාරකයන්ට ඉතා සුළු මුදලක් බවත්ය.