සහරාන් සමඟ සබඳකම් පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට


(පැතුම් දර්ශන)
 
ප්‍රහාරයෙන් මියගිය බවට සැක කෙරෙන ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට  පාසල් ගුරුවරයකු හොරොව්පොතාන මුක්කරවැව  ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
හොරොව්පොතාන පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන තිඹිරි අත්තාවල විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.
 
ඉකුත් 21 වැනි දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට වරකාපොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකු සමඟ ද මොහු 2004 වසරේ සිට සමීප සබඳකම් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි. 
 
තවද 2016 වර්ෂයේ සහරාන් හසීම් නමැත්තා විසින් හොරොව්පොතාන පත්තෑව ජුම්මා පල්ලියේ පවත්වන ලද දේශනයකට ද මෙම සැකකරු සහභාගී වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
 
ඉස්ලාම් අන්තවාදී සංවිධාන හරහා මුදල් ලබා ගනිමින් අසරණ පවුල් වලට උදව් උපකාර කිරීමේ වැඩපිළිවෙළක් ද පසුගිය කාලය පුරා මොහු විසින් සිදුකර ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.