සරසවි විභාග අන්තර්ජාලය ඔස්සේ


(ඩයනා උදයංගනී)

විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරි විභාග අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන ක්‍රමවේදය සතියක් ඇතුළත නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ විශ්ව විද්‍යාලවල විභාග පැවැත්වීම සිසුන්ට නුහුරු කටයුත්තක් බැවින් ඒ පිළිබඳ කරුණු ඇතුළත් කරමින් අදාළ ක්‍රියා පටිපාටිය මෙමගින් එළිදක්වන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

මෙවර විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම් කටයුතු ද අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීම ආරම්භ වී ඇතැයි කී මහාචාර්යවරයා එලෙස බඳවාගන්නා අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි හා තාක්‍ෂණ විෂයන් ඉගැන්වීම දෙසැම්බර් මුල සිට ආරම්භ කරන බව ද කීවේය.

රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රමයක් යටතේ ඔවුන්ට අවශ්‍ය පරිගණකලබාදීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පළමු කොවිඞ් රැල්ල ඇතිවූ අවස්ථාවේ සිටම විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකළ බව කී සභාපතිවරයා එය අතිශය සාර්ථක වූ නිසා ජූනි, ජූලි මාස වන විට නියමිත පරිදි විභාග පවැත්වීමට හැකිවූ බව ද සඳහන් කළේය.පළමු රැල්ල අවසන් වූ පසු අගෝස්තු මස නැවත දේශන ආරම්භ කළත් සැප්තැම්බර් මස හටගත් කොවිඞ් දෙවන රැල්ල සමඟ නැවතත් අන්තර්ජාලය ඔස්සේ දේශන පැවැත්වීම ආරම්භ කළ බව කී මහාචාර්යවරයා ඒ අනුව මෙරට සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු කරගෙන යන බව ද කීවේය.

මේ වන විට විශ්ව විද්‍යාල අන්තර්ජාලය ඔස්සේ දේශන 70,000ක් පවත්වා ඇතැයි කී සභාපතිවරයා ඒ නිසා විශ්ව විද්‍යාල වසා ඇතැයි කිව නොහැකි බව ද පැවසීය.