(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය වරුන් 12, 992 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ ආචාර්යවරුන් 6548 දෙනකු පමණක් බවත් සරසවි යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් ආචාර්යවරුන් දහසක්වත් කඩිනමින් බඳවා ගත යුතු බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) පැවසීය.
ආර්ථික අර්බුදය හමුවේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් රට හැර යෑම බරපතළ ගැටලුවක් බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති පසුබිමක සති දෙකක් ඇතුළත කාර්ය සාධක බලකායක් පත් කර ඒ සම්බන්ධ වාර්තාවක් දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
මේ අතර සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීම සඳහා චීන ජාතික පුර විශ්ව විශ්වවිද්‍යාලය පිළියෙල කළ ජාතික උපායමාර්ගික උපායමාර්ගික සැලැස්ම එහි ප්‍රධානීහු කෝප් කමිටුවට ඉදිරිපත් කළහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙයෂ්ඨ මහාචාර්ය එම්. පත්මලාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ සිටියහ
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට බාර දුන්නේ කළමනාකරණය සදහා කීර්තිමත් නාමයක් අත්පත් කරගත් නිසා බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
එය එම විශ්ව විද්‍යාලයට දුන් ගෞරවයක් ලෙස සැලකිය යුතු බවද කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම මෙම කටයුත්ත සදහා කැපවූ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයටත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, ජේ්‍යෂ්ඨ මහාචාර්ය දිසා බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමටත් විශේෂ ස්තූතිය පුදකරන බව කමිටු සභාපතිවරයා සදහන් කළේය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුද සහභාගී වූහ.

