(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
වත්මන් රජය ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අක්කර 171ක් කැබළි කර සිය හිතවතුන් අතරේ බෙදා දීමට කටයුතු කරන බව කියමින් සමගි ජනබලවේගයේ ආධාරකරුවන් පිරිසක් ඇඹිලිපිටිය නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද(20) විරෝධතාවක් පැවැත්වූහ.
‘භාෂණයේ නිදහස සුරකිමු’ මැයින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණයට සමගි ජන බලවේගයේ කොළොන්න ආසන බලමණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම විරෝධාවට එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ කොලොන්න ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත‍්‍රී බී. ආරියවංශ මහතා පමුඛ සමගි ජනබලවේගයේ පළාත් පාලන සභිකයන් හා ක‍්‍රියාකාරීන් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ හරීන් ප‍්‍රනාන්‍දු මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවකට ජනාධිපතිවරයා තර්ජනාත්මකව පිළිතුරු දීමත්, පොදු ජනතාව වෙනුවෙන් කතාකළ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සිරගත කිරිමත් යන කරුණ දෙකට විරෝධය පාමින් මෙම විරෝධතාව පැවැත්විණි.
යහපාලන ආණ්ඩුව සමයේ කළ කටයුතු, විවේචනය කළ, විවිධ සංවිධාන නමින් පෙනී සිටි භික්‍ෂූ කණ්ඩායම්, වියත්මග, වියත්හඩ ආදී එදා ජනතාව වෙනුවෙන් පෙනීසිටින බවට කී උගතුන් යැයි කී කිසිවෙක් අද ආණ්ඩුව භාෂණයේ නිදහස උදුරා ගනිද්දි මුණිවත රකින බව විරෝධතාකරුවෝ කීහ.
සිරගත කළ යුතු තැනැත්තන් නිදහස් කරමින් ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස හඩ නැගූවන් සිරගත කරන ආණ්ඩුවක් හමුවේ භාෂණයේ නිදහස ලැබෙන තුරු සමගි ජන බලවේගය සටන් කරන බව ද විරෝධතාවට එක්ව සිටි පිරිස හඩ නගා කීහ