
(දසුන් රාජපක්ෂ)
අනුරාධපුරය සඳහිරු සෑයේ තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රේගුවෙන් රත්‍රං ඉල්ලුවේ නැති බව එවකට හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර මහතා දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (23) සඳහන් කළේය.රත්‍රං ලබා දෙන ලෙස ඉල්ලීම කළේ නාවික හමුදාවෙන් බව ජගත් විජේවීර මහතා කියා සිටියේය.
නාවික හමුදාව විසින් එම ඉල්ලීම කරන ලද්දේ, නීත්‍යානුකූලව බව ද ඒ මහතා පැවැසීය.
සඳහිරු සෑය සෑදීමට නීතිවිරෝධීව රත්‍රං නාවික හමුදාව වෙත ලබා දී ඇති බව පවසා නඩු පවරා රිමාන්ඩ් භාරයට පත්කිරීම මගින් තමාගෙන් දේශපාලනිකව පළිගෙන ඇති බව සඳහන්කළ ජගත් විජේවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ ඒ මහතා එලෙස සඳහන් කළේය.
මෙම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම පැමිණිල්ල විභාගයට ගැනීම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

