(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින දැඩි අර්බුදකාරී වාතාවරණය තුල ආණ්ඩුව සැලසුම් කර ඇති තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරෝධය පළකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
ජනතාවට තෙල් ගෑස් විදුලිය සැපයීමේ මූලික වගකීම ඉෂ්ට කිරීමට අසමත් ආණ්ඩුව රටේ සම්පත් විකුණා අර්බුදය අස්සේ මුදල් උපයන බවත් අත්තනායක මහතා සදහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී කැදවූ මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේද කීවේය.
"අද වන විට රට පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුත්ත සම්පූර්ණම අසාර්ථක ව්‍යාපෘතියක්. ටෝකන් ක්‍රමයක් පාවිච්චි කරනවා කියලා ඛනිජ තෙල් ඇමතිතුමා කියනවා. ඒ වගේම අංක පිළිවෙළ අනුව සතිපතා තෙල් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරනවා කිව්වා. ඇත්තටම එහෙම දෙන්න වත් තෙල් බිඳුවක් මේ රටේ නැහැ.
දැන් අපූරු විසඳුමක් ඛණිජතෙල් ඇමැති කියනවා. ලංකාවේ තෙල් බෙදා හැරීම සඳහා තිබෙන ඉන්ධනහල් විදේශ සමාගම් වලට විකුණා දමන්නට ආණ්ඩුව තීරණය කර බව ඔහු කියනවා. මේ අර්බුදය අස්සේ ලංකාවේ සම්පත් විදේශ සමාගම් වලට විකිණීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර්බුදය මැද නැවත වතාවක් ලංකාවේ දේශීය සම්පත් විකුණලා දාලා ප්‍රශ්නය වෙනත් පැත්තට හරවල නිදහස් වෙන්නයි. එය කණගාටුදායක තත්වයක්. මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරනවා. තෙල් ගෑස් විදුලිය සසැපයීම ආන්ඩුවේ මූලික වගකීමක්.එය ඉෂ්ට කරන්න අසමත් ආණ්ඩුව රටේ සම්පත් විකුණා අර්බුදය අස්සේ මුදල් හම්බ කරන්න හදනවා.