සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට කැබිනට් අනුකමිටුවක්


(අජන්ත කුමාර අගලකඩ)
 
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්වාදී ප්‍රහාරයෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම හමුවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සොයාබැලීමට ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කරනු ලැබ ඇත.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(30) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර තිබේ.
 
මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු එම අනුකමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
 
කමිටුව අනිද්දා (02) රැස්වීමට නියමිතය.
 
සංචාරක ව්‍යාපාරය යළි සංවර්ධනය කිරීමේදී හෝටල් ගාස්තු අඩකින් පමණ අඩුකිරීම, මෙරටට එන සංචාරකයින් සඳහා ගුවන් ගමන් බලපත්‍ර සහනදායී මිලකට ලබාදීම, හෝටල්වලට දී ඇති ණයවල පොලී අනුපාත සඳහා මාස 6ක සහන කාලයක් ලබාදීම ඇතුළු සහන රැසක්ද රජය පාර්ශවයෙන් යෝජනා වී ඇතැයි වාර්තා වේ.
 
සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම පිළිබඳව අද පැවැති කැබිනට් රැස්වීමේදීත් ජාතික ආර්ථික සභාවේදීත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.