සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන කිහිපයක්ම කඩිනමින් නවිකරණය කෙරෙයි


( තිළිණි ද සිල්වා )

නානුඔය, වැලිගම, ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට, ගාල්ල, හපුතලේ , කඩුගන්නාව යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක්  සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන ලෙස නවිකරණය කිරිමට කටයුතු යොදා ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

දැනටමත් ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට සහ ගාල්ල යන දුම්රිය ස්ථානවල නවීකරණය කටයුතු අවසන්ව ඇතැයි සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා කියා සිටී.
ඒවායේ නඩත්තු කටයුතු දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් නිසි ලෙස සිදු නොකරන බවට පැමිණිලි ලැබී ඇති බව ද සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

මේ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්න යැයි ප්‍රවාහන ඇමතිවරිය දුම්රිය බළධාරින්ට උපදෙස් දුන් බවද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර මෙම සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටද පියවර ගෙන ඇත.

දැනට ක්‍රියාත්මක දුම්රිය ස්ථාන නවිකරණය කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රමාදයන් වළක්වා ගැනීමත්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමත් එහි අරමුණ යැයිද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරින් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිළධාරින් අතර පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි. 

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි සදහන් කළේ සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන නවිකරණය කර භාරදිමෙන් පසු ඒවා නඩත්තු කිරිමේ ක්‍රමවේදයකන් සකස් කළ යුතු බවත්, ඒ සදහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු යැයි යෝජනා කළේය.

තවද දුම්රිය දෙපාර්තුමේන්තුව සතුව ඇති සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන සංවර්ධනය කිරිම සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් විය යුතුව ඇතැයි මෙහි දි පෙන්වා දුන්නේය. ප්‍රවාහන ඇමතිවරිය ඊට එකගත්වය පළ කළාය. 

බණ්ඩාරවෙල සහ නානුඔය දුම්රිය ස්ථාන නවීකරණය සදහා මේ වසරේ රුපියල් කෝටි 6.2ක ආසන්න මුදලක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය කියා සිටී.

මීට අමතරව  හපුතලේ දුම්රිය ස්ථානයේ පැරණි ගබඩාව සංචාරක ගිමන්හලක් ලෙස ද , කඩුගන්නාව දුම්රිය ස්ථානයේ ඇති පොහොර ගබඩාව ද නවීකරණය කොට සංචාරක ගිමන්හලක් ලෙස ද  , කොළඹ කොටුව, මහනුවර සහ ගාල්ල දුම්රිය ස්ථාන වල සංචාරක තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතව ඇත.

සංචාරක ආකර්ෂණය සහිත ගමනාන්ත වෙත ධාවනය වන දුම්රියන්හි මැදිරි කීපයක් නවින බොජුන්හල් ලෙස නවිකරණය කිරිමටත්, ජංගම පුස්තකාල ඇති කිරිමටත් මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රිය සදහා සුඛෝපභෝගී මැදිරියක් එක් කිරිමට ද සංචාරක අමාත්‍යාංශය යෝජනා කළ අතර ඊට ප්‍රවාහන අමාත්‍යාංශයේ එකගත්වය පළ වූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.