ෂාෆ්ටර්ගේ මරණය ගැන අයියාගෙන් සාක්ෂි විමසයි


(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වැඩිමහළු සහෝදරයා වන ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (23) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්නේය.

මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය අද (23) පස්වරු 1. 00ට පමණ ආරම්භ වූ අතර විනාඩි හතලිස් පහක පමණ කාලයක් සාක්ෂිකරු සිය සාක්ෂිය ලබා දුන්නේය. මෙම සාක්ෂිය සටහන් කර ගැනීම කෙරුණේ මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදීය. ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාගැනීම වාර්ථා කිරීමට අධිකරණ මාධ්‍යවේදීන්ට හැකියාවක් නොවිණී.

මෙම මරණයට අදාළ නඩු භාණ්ඩ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට නියෝග කළාය.