ශාක පෝෂක ආනයනයට අවසර දුන්නා


(යොහාන් භාසුර)
මහ කන්නයේ වී වගාව ඇතුළු බඩ ඉරිගු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ ශාඛ ආරක්‍ෂක පොහොර ආනයනය කිරීමට අවසර ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය

නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගනිමින් සිටින බව කී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා මෙය විද්‍යාත්මක ක්‍රියාවලියක් කළමණාකරණය කර ශ්‍රී ලාංකික ගොවියන්ගේ අවශ්‍යතාව ඉටුකිරීමක් බව ද සඳහන් කළේය.

මෙය පොහොර ආනයනය රිවර්ස් කිරීමක් ලෙස අර්ථකතනය කර පිට රටින් පොහොර ආනයනය කරනවා කියලා අර්ථකනය කරනවා නම් ඒක එක කෝණයකින් සහ එක පාටකින් බලා කියන කථාවක් බවත් ඒ සඳහා අවශ්‍ය බලතල අමාත්‍ය මණ්ඩලය හරහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාට ලැබී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා කීය.

එම අවසර මත අවශ්‍ය කෘෂි පෝෂක, ශාක පෝෂක සහ ශාක ආරක්‍ෂක නිර්දේශිත ප්‍රමාණවලින් ඉහළ පෙළේ ප්‍රමිතියකින් යුතු රට තුළ නිෂ්පාදනය වී නැති නම් ඒ ප්‍රමාණය ආනයනය කර ශාක පෝෂණ ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන බව කී ලේකම්වරයා පැවසුවේ ශ්‍රී ලංකා කෘෂි පද්ධතිය රැකගැනීම සඳහා දැනටතා් පියවර ගෙන ඇති බවත්ය.

කෘෂිකර්ම දේපාර්තමේන්තුවෙන් නිර්දේශිත ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර තිබෙන පොහොර පමණක් ආයනයන කරන බව කී ලේකම්වරයා සූරියා නරක දෙයක් නොවූවත් වැරදි වැඩවලට පාවිච්චි කිරීම සහ ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීමෙන් ඇතැම් පොහොර නකර දේවල් බවට පත්කර ඇති බව ද සඳහන් කළේය.