ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ විදුලි රැහැන් කොටස් සොරාගෙන


(ගයාන් සූරියආරච්චි)

කොළඹ 12 ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අලුතින් විදුලි සැපයුම  ලබාදීමට ගෙනා විදුලි රැහැනෙන් කොටසක් සොරකම් කළ බව කියන සැකකරුවන් 2 දෙනෙකු ඊයේ   (21) අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු 28 ත් 30 අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියා කරනු ලබන චීන සමාගමක විදුලි කාර්මිකයකුව විසින් කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් එම ගොඩනැගිල්ලේ සේවකයන් ලෙස මීට පෙර කටයුතු කර ඇති බවත් සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් පොලිසිය කියයි.

චීන සමාගමේ සේවකයන් අලුත්වැඩියා කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අලුතින් විදුලිය ලබාදීම සදහා ගෙනැවිත් තිබූ විදුලි රැහැන් සවි කිරීමෙන් පසුව එහි කොටසක් එම භූමියේ දමා තිබියදී සැකකරුවන් එම විදුලි රැහැන් සොරාගෙන විවිධ ස්ථානවලට විකුණා ඇති බව පොලිසිය පවසයි.