ශ්‍රීලනිප සාමාජිකත්වය තහනම් කළ මන්ත්‍රීවරු සිව්දෙනා නඩු මඟට


(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව එ.ජ.නි.ස පත්කළ මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා හා එස්.බී දිසානායක යන මහත්වරුන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද (15) අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පත්කළ මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සදහන් කර සිටියේ තමන්ට එරෙහිව කිසිඳු විභාගයක් නොපවත්වා දේශපාලන පක්‍ෂයකට ඒකාධිපති ස්වරූපයෙන් ක‍්‍රියාකිරීමට හැකියාවක් නැති බවයි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැරදි උපදෙස් අනුව ක‍්‍රියාකිරීම හේතුවෙන් පක්‍ෂය දැඩි අසීරුතාවයන්ට පත්වූ බව කී මන්ත‍්‍රීවරයා මෙය ද කාගේ හෝ වැරදි උපදෙසක් අනුව ගනු ලැබූ තීරණයක් විය හැකි බවද කීය.

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කර සිටියේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ තීරණයට කිසිදු නීත්‍යානුකූල පදනමක් නැති බවයි.

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරමින් ලියුම් සියයක් එව්වද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය කිරීමට තමන් ගත් තීරණය ආපසු හැරවීම කිසිවෙක්ට නොහැකි බවද මන්ත‍්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටියේ ආණ්ඩු විරෝධී බලවේග සමඟ කටයුතු කිරීම විනය කඩකිරීමක් නොවන බවයි. විනය පරීක්‍ෂණයට මුහුණ දීමට තමන් සූදානම් බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා මෙම තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බි දිසානායක මහතා ද සදහන් කළේය. එමෙන්ම තමන්ට බ‍්‍රහ්ම දණ්ඩනය පනවා ඇති බැවින් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව පත්කළ මන්ත‍්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පැවැසීය.