ශ්‍රීලනිප - පොහොට්ටු හත්වැනි සාකච්ඡාව 25වැනිදා


(නාලක සංජීව දහනායක)
 
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා වටයේ හත්වැනි සාකච්ඡාව 25 වැනි දින කොළඹ-07, ශ්‍රීමත් මාක්ස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවැසීය.  
 
මීට පෙර පැවැති සාකච්ඡාවලදී ප‍්‍රතිපත්තිමය කාරණා 25 ක් සම්බන්ධයෙන් දෙපාර්ශවයම දැනට එකඟතාවයකට එළඹ සිටින බවද මහාචාර්යවරයා පැවැසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම්වරයකු වූ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම හා කථිකාචාර්ය ජගත් වැල්ලවලත්ත යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.