
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පිටිපන ඉදිකළ ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (02) විවෘත කරන ලදී.
ඇමරිකානු ඩොලර් මිලියන 18.5 මුදලක් ආයෝජනය කරමින් හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී සමාගමට අනුබද්ධ මොරිසන් පී.එල්.සී සමාගම විසින් මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබුණි.
මෙම කර්මාන්ත ශාලාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 5ක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ඇති අතර ද්විත්ව වැඩමුරයක් යටතේ උපරිම ධාරිතාවයෙන් ඖෂධ බෝතල් මිලියන 10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. පුහුණු රැකියා 250 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.
මානව දෝෂ වළක්වා ගැනීම සඳහා අවම මිනිස් මැදිහත් වීමක් සිදුවන පරිදි නිර්මාණය කර ඇති මෙම නව කර්මාන්ත ශාලාව මුළුමනින්ම ස්වයංක්‍රීය ද්‍රව නිෂ්පාදන සහ ඇසුරුම් කරන ක්‍රමවේද, පරිපූර්ණ රසායන සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාගාර, පාරිසරික තත්ත්ව පාලනය කිරීම සඳහා වෙනම වායු මෙහෙයුම් ඒකක මෙන්ම, ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ මෘදුකාංගයකින් ද සමන්විතය. මෙරට ප්‍රථම ශුන්‍ය ද්‍රව විසර්ජන අපජල පද්ධතියෙන් යුතු කර්මාන්තශාලාව ද මෙය වේ.
මින් නිෂ්පාදනය කරන ඖෂධ යුරෝපා සංගමය යහපත් නිෂ්පාදන ක්‍රමවේද වලට අනුකූලව අපනයනය කිරීම අරමුණයි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මොරිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මූර්තසා එසුෆාලි මහතා ඇතුළු පිරිසක් සහභාගී සහභාගී වී සිටියහ.




