ශ්‍රී ලංකාව සමග බෞද්ධ සබඳතා


(විමුක්ති එස් රුද්‍රිගු)

 

ශ්‍රී ලංකාව සමග බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ඉන්දියානු රජයේ ප්‍රදානය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව  සහ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අවස්ථා දෙකකදී රැස්වීම් පැවැත්වූ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති ඉතා ඉක්මණින් ක්‍රියාවට නැංවීම සඳහා දෙපාර් ශ්වය එකඟතාවයකට පැමිණි බවද එම නිවේදනයේ දැක්වේ.

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති රැස්වීමේදී බෞද්ධ ආගමේ සංවර්ධනය විය යුතු විවිධ අංශ හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි පූජනීය ස්ථාන සහ පිරිවෙන්වල  සූර්ය බලශක්ති පැනල ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග  පිළිබඳවද හඳුනාගත් බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා පැවති රැස්වීමේදී නවීනතම පහසුකම් සහිතව ඉදිවූ  සංස්කෘතික මධ්‍යස්ථානය මහජනයාගේ නිත්‍ය භාවිතය සඳහා ලබාදීමට ඒකාබද්ධ රාමුවක් පිහිටුවීමට අවධානය යොමුකළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 11 කටත් වඩා වැඩි මුදලකින් ඉදිවූ තට්ටු දෙකකින් යුත් කෞතුකාගාරයක්, 600කට වැඩි ජනතාවකට එකවර පහසුකම් සැපයිය හැකි නවතම රංග ශෛලමය ශ්‍රවණාගාරයක්, තට්ටු 11 කින් යුත් ඉගෙනුම් කුළුණක් සහ පොදු චතුරශ්‍රයක් ද සහිත යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ නවීනතම පහසුකම් පද්ධතිය ඉන්දු - ශ්‍රී ලංකා සංවර්ධන හවුල්කාරිත්වයේ දීප්තිමත් උදාහරණයක් බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.