(සන්ඩේ ටයිම්ස්)
ශ්‍රී ලංකා මුහුදේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එක් නාවික හමුදා නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් මෙරට රජයේ කනස්සල්ලට පත්වී සිටින බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා උතුරු මුහුදේ සිද්ධිය සිදුවූ දිනයේම මහ කොමසාරිස්වරිය නව දිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසුණාය. කොළඹදීද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජ තාන්ත්‍රිකයකු ගෙන්වා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නාවිකයාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දරන මතය දන්වා ඇතැයිද පැවැසෙයි.
ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී තුවාල ලැබූ නාවික නිලධාරියා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය.
මෙලෙස මියගියේ 40 හැවිරිදි ප්‍රියන්ත රත්නායක නම් නාවිකයෙකි.ඔහුගේ අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා ඉබ්බාගමුව නගරයේදී සිදු කෙරිණි.

