ශ්‍රී ලංකාව 2-0 කින් සිම්බාබ්වේ පරදවයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට අද (11) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) ජය ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 97 ක ඉලක්කය ඕවර 16.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

දඟ පන්දු යවන වනිඳු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 5.5 කදී ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගනිමින් සිම්බාබ්වේ පිල අසරණ කළේය. මෙය වනිඳුගේ එක්දින ක්‍රිකට් දිවියේ දක්‍ෂතම පන්දු යැවීම වන අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම දක්‍ෂතම පන්දු යැවීම ද වේ.

හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 2001 වසරේ සිම්බාබ්වේට එරෙහිව ලකුණු 19 කට කඩුලු 8 ක් දවාගැනීමට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් දක්‍ෂතම පන්දු යැවීම වේ.

සිම්බාබ්වේ ඉනිමේදී දෙවරක්ම වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය ඉනිමක් ඕවර 27 කට සීමා කරමින් රාත්‍රී 8.00 ට නැවත ආරම්භ කළේය.

සිම්බාබ්වේ පිල ඕවර 22.5 කදී සියලු දෙනා දැවී 96 (ජෝයිලෝඩ් ගම්බි 29, තාකුඩ්ස් කයිටානෝ 17, ලූක් ජෝග්වේ 14, වෙලින්ටන් මසකඩ්සා 11, වනිඳු හසරංග 19/7) ශ්‍රී ලංකා පිල ඕවර 16.4 කදී කඩුලු 2 ට 97 (කුසල් මෙන්ඩිස් නොදැවී 66, ෂෙවෝන් ඩැනියල් 12, සදීර සමරවික්‍රම නොදැවී 14)