ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ


(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන්තොටුපොළ සිට  සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒ.- 320 එයාර් බස් ගුවන් යානය , ගුවන් මගීන් 93 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනකු රැගෙන සිංගප්පූරුව බලා අද අලුයම පිටත්ව ඇති අතර ඉන්දුනීසියා ගුවන් සීමාවේදී  මෙසේ කාර්මික දෝශයකට ලක් වී තිබේ.

එහිදී මෙඩාන් ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගෙන් මෙම ගුවන් යානය අලුත්වැඩියා කර ගැනීම සදහා විමසීමක් සිදු කර තිබූ අතර , එහිදී මේ සදහා විශාල කාළයක් වැය වන බව පවසා , මෙම අලුත්වැඩියා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ .

ඉන් අනතුරුව මෙම ගුවන් යානයෙන් මගීන් බස්සවා , මෙම ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කිරීමට මෙඩාන් ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .

එමෙන්ම මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයක් , මෙඩාන් ගුවන් තොටුපොළ වෙත යොමු කර මෙම මගීන් පිරිස සිංගප්පූරුව වෙත රැගෙන යාමට , එම ගුවන් තොටුපොළ බලධාරීන් අවසර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබුණි .

මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා රජය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දුනීසියා රජය සමග රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර , මෙම ගුවන් මගීන් පිරිස , මෙඩාන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .