ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ගන්න භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කෙරේ


(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1528 ක් පමණ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තාවේ.

දිගින් දිගටම පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර හතරක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින නමුත් මේ දක්වා එම කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඛනිජ තෙල් සංස්ථාව  ඇතුළු ආයතන ගණනාවකට රුපියල් කෝටි 18,600 කට අධික මුදලක් වැයවී ඇතැයි ද  වාර්තාවේ.

ඉන් වැඩිම මුදලක් වැය වී ඇත්තේ ලංකා බැංකුව හා මහජන බැංකුවට වන අතර එය ඉකුත් වසරේ මාර්තු මාසය වනවිට පමණක් රුපියල් 5700 ක් පමණ වූ බව පැවසේ.

මේ තත්ත්වය තුළ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඉකුත් 2016 වසරේ ආරම්භ කරනු ලැබීය.

එම කටයුතු නිමවන තෙක් ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි වසරින් වසර නිකුත් කෙරිණි.

ඒ අනුව එම බැංකු දෙකෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 85 ක් දක්වා රුපියල් කෝටි 1528 ක් ණය ගැනීමට  හැකි වන සේ වසරක කාලයක් ණය සහන ලිපි නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දි ඇත.

ලංකා  බැංකුවෙන් ඩොලර් මිලියන 42.5 ක් සහ මහජන බැංකුවෙන් ඩොලර් මිලියන42.5 ක් ලෙස මෙම ණය පහසුකම ලබා ගැනීමට එම සහන ලිපි නිකුත් කෙරෙන ඇත.