ශෂීන්ද්‍රට ඇප


(රෝෂන් තුෂාර)

අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා   රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද ඇප නියම කළේය.

සැකකරුගේ රෝගී තත්ත්වය,දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම සහ විමර්ශන බොහෝ ප්‍රමාණයක් අවසන් කර තිබීම  යන කරුණු සලකා බලා ඇප නියම කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ,ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  සැකකරුගේ විදෙස්ගත ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.  

කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට  රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන්    හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි අල්ලස් කොමිසම පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප නියම කෙරිණි.