ශෂී වීරවංශගේ අභියාචනය සළකා බැලීම හෙට


(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචන ඉල්ලීම හෙට 31 දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද 30 නියෝග කළේය .

මෙම සිද්ධියට අදාළ අභියාචන ඉල්ලීම සලකා බැලීම සඳහා අද 30 තෙක් කල් තැබීමට ඉකුත් 27 වැනි දා අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණි.

ඒ අනුව සිරකාර ශෂී වීරවංශ මහත්මියව අද (30) බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

අදාළ නඩු දෙකට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ  වැඩ සහිත සිර දඬුවමක් ඉකුත් 27 වැනිදා නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය.  

වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව එලෙස නඩු පවරනු ලැබීය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)