ශක්තික සත්කුමාර ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය මාර්තු 22 වැනිදා


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

"අර්ධ"  නම් කෙටිකතාව හරහා ආගමික වෛරය ප්‍රචාරය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා ලේඛකයකු  වන ශක්තික සත්කුමාර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  පිළිබඳව   වැඩිදුර විභාගය  ලබන වසරේ මාර්තු 22 වැනි දිනට කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය  කළේය.

එල්.ටී.බී  දෙහිදෙණිය,  කුමුදුනී වික්‍රමසිංහ සහ  අර්ජුන ඔබේසේකර යන   ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ  මෙම පෙත්සම  කැඳවූ අවස්ථාවේදී  මේ බව තීරණය කෙරිණි.

දණ්ඩ නීති සංග්‍රහය සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වැරදි සම්බන්ධයෙන් සිය සාහිත්‍ය කෘතිය හරහා ආගමික වෛරය ප්‍රචාරණය කළ බවට සත්කුමාර පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 

සත්කුමාර "අර්ධ" නමින් කෙටිකතාවක් ලියා ඇත්තේ 2019 පෙබරවාරි 15 වන දින සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ ලබා ගත හැකි සටහනක ය. එය මෑතකදී පැවිදි ජීවිතයෙන් ඉවත් වී මිතුරෙකුගේ ජීවිතයට සංක්‍රමණය වූ තරුණ හිටපු භික්ෂුවක්  පිළිබඳව  ලියැවුණු  බව සඳහන් වේ.

එම කෙටි කතාවට එරෙහිව  බෞද්ධ සංවිධානයක්  පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්    එම ප්‍රකාශනය ඉවත් කර සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා  තිබුණි.එම ප්‍රකාශනය මගින්  බෞද්ධාගම ට අපහාස වන   බවට චෝදනා කර තිබුණි.

ඒ අනුව  ඔහු  අත් අඩංගුවට ගත් අතර ඔහුට  එරෙහිව  නඩු  නොපවරන බවට නීතිපති වරයා කල   දැනුම්දීම අනුව  පොල්ගහවෙල  මහේස්ත්‍රාත් අධිකරණය විසින්  ඔහු  මුදා හරින ලදි.

තමන්  අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින්  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස ඉල්ලා  ඔහු  මෙම පෙත්සම ඉදිරිපත් කෙරිණි.

මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය  මීට පෙර අවසර ලබා  දී තිබුණි.

පෙත්සම්කරු  වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ නීතීඥ පුලස්ති හේවාමාන්න මහතා පෙනී සිටියහ.