
(සුජිත් හේවාජුලිගේ )
වෙළෙඳපොළේ ඇතැම් වෙළෙඳ නාම සහිත පැරසිටමෝල් පෙතිවල උග්‍ර හිඟයක් මතුවීමෙන් රටපුරා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් අප ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇතැම් වෙළෙඳ නාම සහිත පැරසිටමෝල් පෙතිවල යම් හිඟයක් පවතින නමුත් සාමාන්‍ය පැරසිටමෝල් පෙතිවල හිඟයක් නොමැති බවයි.
පැරසිටමෝල් පෙති නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමක් සිදුව ඇති හෙයින් මේ තත්වය මතුව ඇති බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි දෙසතියේදී ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයිද ප්‍රකාශ කළේය.
දේශීය සමාගම් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.
මෙරට පැරසිටමෝල් පෙත්තක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 1.70ක් බවත් ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව පැරසිටමෝල් පෙත්තක් එම මිලට අලෙවි කිරීමට හැකියාවක් නැතැයි නිෂ්පාදකයන් දැනුම්දී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
පැරසිටමෝල් පෙත්තක මිල සංශෝධනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව නිර්දේශ දැනටමත් ලබාදී ඇතැයි චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

