
වෘත්තීය පුහුණු අධිකාරියේ රේඛීය අමාත්‍යංශය වන අධ්‍යාපන අමාත්‍යංශය එම අධිකාරියේ කටයුතු නිසි ලෙස නිරීක්ෂණය කර නැතැයි කෝප් කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා චෝදනා කළේය.ඒ පසුගියදා වෘත්තීය පුහුණු අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේය.
මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා,
'වෘත්තීය පුහුණු අධිකාරිය ඉතාම නරක තැනක තියෙන්නේ. අපි කැඳවීමක් කළා කැප්පෙටිපොළ කියලා හිටපු සභාපතිවරයෙකුට එතුමා අද ඇවිත් නැහැ. අපි නැවත වාරයක් එතුමා කැඳවනවා. එතුමා කිසිම අධ්‍යක්ෂ මණ්ඩල අනුදැනීමක් නැතිව මෙහි බිඳවැටීමේ අවසාන ඇණයත් ගහලා ගිහින් තිබෙන්නේ. එසේම අධ්‍යපන අමාත්‍යංශයේ විෂය භාර අතිරේක ලේකම්වරු මෙහි බිඳවැටීමට මුළුමනින්ම වග කියන්න ඕනි.'
' වෘත්තීය පුහුණු අධිකාරියේ කණගාටුදායක තත්ත්වය කොච්චරද කියනවා නම් ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ප්‍රධාන නිල 10 ක් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව හිටපු සභාපතිවරයාගේ අභිමතය පරිදි සමහරු ගෙදර යවලා සමහරු ස්ථාන මාරු කරලා තියනවා. අපි ඔබතුමාගෙන් අහනවා (අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන්) අධ්‍යක්ෂ ජනරාල්වරිය මාස 4 ක් ගෙදර තියලා රුපියල් 486616.16 ක වැටුපක් ගෙවලා තියනවා. ඒක අපි කාගෙන්ද අය කරගන්නේ. ඊළඟට මේක පරිපාලනය බිඳවැටෙන්න මූලික හේතුව තමයි පරිපාලන අධ්‍යක්ෂ පරිපාලනයේ නෑ. පුහුණු අධ්‍යක්ෂ පුහුණුවේ නෑ. අමාත්‍යංශය මේක දැනගෙන හිටියේ නැද්ද. ඒකයි අපි කියන්නේ වෘත්තීය පුහුණු අධිකාරියේ මේ බිඳ වැටීමටට මේ අමාත්‍යංශයේ අදාල විෂය භාර නිලධාරීන් වග කියන්න ඕනි කියලා.'
'අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ මාසයේ 19 වැනිදා විශ්‍රාම යනවා. මේ කටයුත්ත කරන්න අධ්‍යක්ෂ ජනරාවරයෙක් පත්කර ගන්නේ කොහොමද? අනීතිකව මාරු කළ අය සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක්ද අධ්‍යක්ෂජනරාල්වරිය මෙහෙම අනීතිකව ගෙදර යවලා පඩි ගෙවපු එක සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා තීන්දුව මොකක්ද? ආයතනයේ පරිපාලනය බිඳවැටීම සම්බන්ධයෙන් වගකිව යුතු අය හඳුනාගෙන තිබෙනවාද? අපට නිරීක්ෂණය වෙලා තිබෙනවා අරමුණෙන් බැහැරව කටයුතු කරන අවස්ථා 16 ක්' යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්යය නිවාඩු යැවීමේ කටයුත්ත හිටපු සභාපතිවරයා විසින් අමාත්‍යංශයට වාර්තා කළේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ගත් තීරණයක් ලෙස බවයි. එහෙත් එවැනි තීරණයක් නොවූ බවට පසුව අනාවරණය වූ බව ද ලේකම්වරයා මෙහිිදී පැවසීය. එසේම අධ්‍යක්ෂවරුන් තිදෙනකු මෙම තීරණයට එකඟ නොවූ බව ලිඛිතව දැන්වූ බවද ලේකම්වරයා පැවසීය.
මෙහිදී අදස් දැක්වූ කෝප් සභාපතිවරයා කියා සිටියේ හිටපු සභාපතිවරයා මූල්‍යමය අලාභයක් කර ඇති බවත් ආයතනයේ පරිපාලනය මුළුමනින්ම බිඳවට්ටා ඇති බවත්ය. මේ අනුව හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති ලේක්ම්වරයායට දන්වා යවන බවත් මේ අවස්ථාවේත් ඔහු කෝප් කමිටුව මඟහැර ඇතත් ඊළඟ වතාවේ ඔහු කමිටුව ඉදිරියට කැඳවන බවත් කෝප් සභාපතිවරයා පැවසීය.
එසේම අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය නිසි පටිපාටියකින් තොරව සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබූ බවද මෙහිදී අනාවරණය විය. එසේම හිටපු සභාපතිවරයා කළ හානිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමටද මෙහිදී තීරණය විය.
කෝප් කමිටුවේ දී අනාවරණය වූ වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු සභාපතිවරයාගේ අනීතික තීන්දුවකට අනුව අනිවාර්ය නිවාඩු යැවූ අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවත සේවයේ පිහිටුවීමට වෘත්තීය පුහුණු අධිකාරිය මේවනවිට කටයුතු කර තිබේ. එහෙත් හිටපු සභාපතිවරයා රාජ්‍ය සේවයේ පළපුරුදු නිලධාරිනියක සහ තවත් නිලධාරීන් පිරිසකට කළ හානිය හෝ වෘත්තීය පුහුණු අධිකාරියට කළ පාඩුව පූරණය කර ගැනීම ලෙහෙසි නැත. කෝප් සභාපතිවරයා මෙම සිද්ධියේ දී කියූ ආකාරයටම බොහෝ රාජ්‍ය ආයතන සභාපතිවරුන් තමන්ට අවශ්‍ය ලෙස සියල්ල කළ හැකි යැයි සිතා සිටීම මෙවැනි අර්බුදවල මුලයි.

