(යොහාන් භාසුර)
ගොවීන් මුහුණ දී සිටින වී මිල ප්‍රශ්නයට අද (27) පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැහැදිළි තීරණයක් ගනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන බව රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් පැවසීය.
නාඩු වී කිලෝවක් රුපියල් 55 ක් ලෙස ඉහළ දැමූ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම මහතා සෙසු වී වර්ගවල මිල ද ඉහළ දමන බවට ගොවි ජනතාවට බලාපොරොත්තුවක් දුන්න ද ඒ අනුව මේ දක්වා මිල වැඩි කර නොමැති බවත් ගොවියන්ගේ එම ඉල්ලීමට සහ සහල් ප්‍රශ්නයට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී හොඳ පිළිතුරක් ලැබේ යැයි රජයේ පාර්ශවයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
වී මිල ගොවීන්ගේ ගැටලුවක් බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගතයුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් බොහෝ පාර්ශව ඉල්ලීම් කර ඇති බව කී එම අමාත්‍යවරයා වී මිල වැඩි කිරීමෙන් රටේ මුදල් පිටතට විතැන් නොවන බව ද සඳහන් කළේය.
සම්බා වී කිලෝවකට රුපියල් 60 ක් සහ කීරි සම්බා කිලෝවකට රුපියල් 70 ක් වන මිලක් ගොවීහූ ඉල්ලා සිටිති.

