(බී.ජි. චතුරංග)
රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6) සත්‍යග්‍රහයක නිරත විය.
මහවිලච්චිය පේමඩුව ප්‍රදේශයේ පදිංචි ආර් අනුර බණ්ඩාර නමැති ගොවි මහතා ' වී ' කරල් කිහිපයක් සහ කෘමි නාශක අඩංගු බෝතලයක් රැගෙන එය ඩී.එස්.සේනානායක පිළිරුව වෙත දිගු කරමින් රජය ඇතුළු මහ මෝල් කරුවන්ගෙන් ගොවියා බේරා දෙන ලෙස අයැද සිටියේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහ විලච්චිය පදිංචි ආර්. අනුර බණ්ඩාර මහතා.
" මේ වනවිට රජයේ වී මිලදී ගැනීමේ, මිලත් එක්ක ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. එදා මේ රජය බලය ගන්න කොට කිව්වේ ගොවියාට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.වී වලට සහතික මිල නියම කිරීමෙන් මෝල් හිමියන්ට වාසියක් උනා. ෙදැන් ගොවියාගේ වී වලට සාධාරණ මිලක් කියලා, 120ක මිලක් නියම කරලා තියෙනවා. මේ මගේ අතේ තියෙන ගොයම් කරල්, මේ ගොයම් කරල්, මේ දක්වා මේ තත්ත්වයට එනකං වතුර දුන්න දවසේ ඉඳලා දුක් විඳලා, දුක් විඳලා, පැල් රැකලා වී වලට සාධාරණ මිලක් ලබා දෙනවා කිව්වට පස්සේ අද 120ක මිලක් ලබා දීලා තියෙනවා. අද පොහොර මිල කීයද?
අද වන විට වී කිලෝව 130ට දෙන්න බෑ, කළුකඩ මුදලාලිලා අඩුවට කිරනවා, ඒක මාධ්‍ය හරහා පෙන්නුවා. රජයේ මිල නිසා ඊයේ මම කඩෙන් අහන කොට කිව්වේ, තෙත වී ගන්නේ 90යි අපිට ඊට වැඩිය බෑ කියලා. රුපියල් විස්සක් 30ක්වත් අපිට ඕනෙ කියලා. රජය කරපු දේ නිසා අපිට 130ට වී දෙන්න බැරි වෙලා තියෙනවා දැන් පෞද්ගලික අංශයට."