විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා අවසන් කෙටුම්පතට ඇතුළත් කරනවා


(විනීතා එම් ගමගේ)

 

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති උචිත හා අවශ්‍ය සංශෝධන ද අවසන් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කිරීමට සළකා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ වනවිට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දන්වා ඇතැයි කී පීරිස් මහතා පාර්ලිමේන්තුව යළි රැස්වන මේ මස 20 වැනිදා එය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි ද කීය.

ඉන්පසු ඕනෑම අවස්ථාවක 20 වන සංශෝධනය විවාදයට ගත හැකි වන බවත් පසුව සිදුවන දෙවන වර කියවීමේ සිට සංශෝධන එක් කළ හැකි වන බවත් අමාත්‍යවරයා කීය.

ජී එල් පීරිස් මහතා මේ අදහස් පළ කළේ නෙළුම් පෙදෙස පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

එහි දී තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මේ සම්බන්ධව විවාදයක් පැවැත්වෙනවා ද දින කීයක් ද ආදී කරුණු තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු කමිටුව විසින් යැයි ද කියා සිටියේය.

අවශ්‍ය යැයි සිතන සියලු සංශෝධන අලුත් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කරන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.