විශේෂ ත්‍රිපුද්ගල වාර්තාව සියලු පාර්ශවවලට විවෘත කරනවා


(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලු පාර්ශවවලට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවැසීය. 
 
ඉහළම අධිකරණ බලතල ඇතිව එම පරීක්ෂණ මණ්ඩලය පත් කර ඇති බවත් සති දෙකක කාලයක් ඇතුළත එම වාර්තාව ලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. 
 
ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂ ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය.වාර්තාව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන බවත් ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා එහිදි පැවසීය. 
 
 පාස්කු ඉරිදි ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් සමත්වූ ආරක්ෂක අංශවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කෘතඥතාව පළ කළ අතර අතර රටේ කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යෑම සඳහා එහි නිලධාරීට උපදෙස් දුන්නේය.
  
පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.