වියදම් නැතිව ඇමෙරිකා ගුවන් ගමන් 1400ක් නවතී


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් පෙරේදා(08) දිනයේ පමණක් එරට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 1400 ක් අවලංගු වී තිබූ බවත් තවත් ගුවන් ගමන් 6000 ක් ප්‍රමාද වී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය 7 වැනිදා ඇමෙරිකාවේ දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 7000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී තිබිණි.

පසුගියදා අයවැය පරාජයට පත්වීමත් සමග සේවක වැටුප් ගෙවීම් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිව එරට රජය අකර්මණ්‍ය විය.

ඒ සමග වියදම් ඉතිරි කර ගැනීම සඳහා ගුවන් ගමන් කප්පාදු කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට දැනුම් දී තිබිණි.

එම දැනුම්දීම අනුව යමින් ඇමෙරිකාවේ කාර්ය බහුලම ගුවන් තොටුපොළවල් 40 ක ගුවන් ගමන් ධාරිතාව සියයට 10 කින් අඩු කරන බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළේය. රජයේ කටයුතු අකර්මණ්‍යවීමත් සමග ගුවන් ගමන් මෙහෙයවන්නන් රාජකාරි කටයුතු සිදු කරන්නේ වැටුප් නොමැතිව වීම ගුවන් ගමන් කප්පාදු කිරීමට හේතුව විය.

පසුගිය ඔක්තෝබර් 1 වැනිදා ඇමෙරිකානු රජය අකර්මණ්‍ය වූ අතර වර්තමානය වනවිට ඇමෙරිකානු රජයේ සියලුම කටයුතු ඇනහිට දින 39 ක කාලයක් ගතවී ඇත.

තවමත් රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජයේ වියදම් සම්බන්ධයෙන් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.