(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13 වැනි දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (18) දින නියම කළේය.
නඩුවේ දෙවෙනි විත්තිකරු ලෙස නම් කර ඇති ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තිබිණි. ඉදිරි දිනයේදී විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාට නියෝග කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම්කර සිටින. විමල් වීරවංශ,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක, මොහොමඩ් මුසාමිල් සහ රොජර් සෙනෙවිරත්න අධිකරණයේ පෙනී සිටියහ.
2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

