(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ වරෙන්තුව ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (14) මෝසමක් මගින් අධිකරණයට බාරවූ අවස්තාවේදි මහේස්ත්‍රාත්වරයා මෙමෙ නියෝගය නිකුත් කලේය.
ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරු ඇතුලු පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.
නඩු විභාගය ලබන ජූනි මස 19 තෙක් කල් තැබිනි.

