විපතට පත්වූවන්ට වියළි ආහාර දෙන්න මිලියන 12ක්


වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ 14,000ක පමණ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 12ක මුදලක් වෙන් කර ඇති බව ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.
 
දිවයින පුරා ආපදාවට ලක් වූ පුද්ගලයන් කඳවුරු 42ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(25) පැවසීය.
 
පූර්ණ වශයෙන් හානියට පත් වූ නිවාස සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම සේවා කාර්යාල හරහා රුපියල් මිලියන 2.5ක වන්දි මුදලක් ලබාදෙන බවද, අර්ධ හානියට පත් නිවාස සඳහා සිදු වූ හානිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දිලබා දෙන බවද ඒ මහතා පැවසීය.
 
මේ වනවිට පූර්ණ වශයෙන් හානියට පත් නිවාස 30ක් සහ අර්ධ හානි සහිත නිවාස 412ක් වාර්තා වේ.‍
 
ගාල්ල, මාතර, කලුතර සහ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක අටක හදිසි ආපදා තත්ව සඳහා යෙදවීම වෙනුවෙන් රුපියල් මිලියන 6.3ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයිද, අමාත්‍යවරයා පැවසීය.
 
(16844)