විපක්ෂයේ නායකයෝ ආයෙත් රැස් වෙති


(අංජුල මහික වීරරත්න)

ලංකාව පාලනය කරන දේශපාලන පක්ෂය හැර ලියාපදිංචි දේශපාලන පක්ෂ 67 සහ ලියාපදිංචි වීමට ඉල්ලුම් කර තිබෙන දේශපාලන පක්ෂ 15  රටේ අනාගතය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකට එකතුව ක්‍රියා කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(24) පැවසීය.

විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිපෝන් හෝටලයේ දී මෙම  “මහ ජන හඬ” මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:-

 පසුගිය සිකුරාදා නුගේගොඩ පැවැති “මහ ජන හඬ” රැළියේදී ඉතාමත් සාර්ථක මහජන මතයක් රජයට පෙන්වන්න හැකියාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී අපේ පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 40 ක නායකයින් සහ නියෝජිතයින් සම්බන්ධ කරගත්තා. ප්‍රධාන විරුද්ධ පක්ෂයේද නියෝජිතයින් සහභාගී වෙමින් අපි මේ පණිවිඩ ලබාදීම ආරම්භ කළා. 

ජනතාව දැනුවත් කිරීම සඳහා ගම් මට්ටමින් රැස්වීම් 1000 ක් පවත්වන්න අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙනවා.ඒ අනුව අපේ පක්ෂයත් සියලු දේශපාලන පක්ෂත් සියල්ලම ජාතික වශයෙන් එකට එකතු වී ක්‍රියාකළ යුතුව තිබෙනවා. 

ආණ්ඩුව දිගින් දිගටම බොරු කියලා සමාජය සම්පූර්ණයෙන්ම වල්මත් කරලා සියලු දේශපාලන පක්ෂත් විනාශ කිරීම සඳහා ක්‍රියාකර තිබෙනවා. මේ “මහ ජන හඬ” ව්‍යාපාරය සඳහා දායකත්වය ලබාදුන් සමස්ථ දේශපාලන පක්ෂවලටත් සියලුම මහජනතාවටත් එක්සත් ජාතික පක්ෂයේ ස්තූතිය පළ කර සිටිනවා.  

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත මහත්වරුද සහභාගී වී සිටියහ.