(බන්දුල ඉලේපෙරුම)
20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය 22 වැනිදා සිය පක්ෂයේ සාමාජිකයින් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථාකරන විට කැමරාව යොමු නොකළේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් අද (24) විමසා සිටියේය.
එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මීට පෙර සිටි වි.ජ.මු.ලොකුබණ්ඩාර කථානායකවරයාගේ සමයේ ගත් තීන්දුවක් අනුව පාර්ලිමේන්තුවේ යම් නොසන්සුන්කාරී කලහකාරී තත්වයක දී කැමරාව යොමු කරනුයේ කථානායකවරයාට හා සෙංකෝලයට පමණක් බවට වන රීතියක් ඇතිකරගත් බවයි.
නමුත් නලීන් බණ්ඩාර මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම කියා සිටියේ එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට හා කබීර් හෂිම් මහතාට මයික්‍රෆෝන ලබාදී තිබූ බැවින් කැමරාව යොමුවිය යුතු බවයි.
නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ මිරිස් කුඩු ගසන විට, කථානායක පුටුවට මූත්‍රා කරන විට ජලය වක්කරන විට එසේ කිරීම සාධාරණ වුවත් මෙහිදී එවැනි තත්ත්වයක් නොවූ බවයි.
මේ පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම වාද කළ අතර ඒ හේතුවෙන් අද (24) සභාව උණුසුම් විය. කථානායකවරයා කියා සිටියේ සන්සුන්ව වාඩිවී සිටිනවා නම් කැමරාව ඕනෑ තරම් ලබාදිය හැකි බවයි.

