විනිසුරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ ගන්න නීතිපති නියම කරයි


( +++ මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල යෙදුණු බව කියන විශ්‍රාමික සහ දැනටත් සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂකවරයාට ඊයේ (16) නියම කළේය.

රන්ජන් රාමනායක මහතා විනිසුරුවන් තිදෙනකුට බලපෑම් කරමින් දුරකතන ඇමතුම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස උපදෙස් දුන් බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ලංකාදීපයට පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරින් විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකරනු ලබන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවත් පැවසූ ජයරත්න මෙනෙවිය ඒ පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා එලෙස නියම කළ බව ද කීවාය.

අධිකරණ බලතල ක්‍රියාත්මක කරන විනිසුරුවරුන්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියටත්, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ටත් බලපෑම් කිරීමෙන් රන්ජන් රාමනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) 2 වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකිරීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය 14 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි.