විනාශ කළ උපකරණ ගැන ඕමල්පේ හිමි කතා කරයි


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

දුප්පත්කමින් හිඟාකන මේ රටේ, තියන සම්පත් ආරක්‍ෂා කරගනිමින් ක‍්‍රියාකරනවා මිස පොතේ ගුරුවාදයට යටවී තීරණ නොගන්නා ලෙස සමස්ත රේගු නිලධාරින්ගෙන්  ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලා සිටියහ.

ප‍්‍රමිතියෙන් තොරයි කියලා, රේගු අත්අඩංගුවට ගත් පාසල් දරුවන් භාවිත කරන සපත්තු, බෑග් ආදි හිස් වැසුම් ආදී පාසල් දරුවන් භාවිතකරන කෝටි ගණනක් වටිනා උපකරණ රැසක් පසුගියදා රේගුව විසින් ගිනිතබා විනාශ කරනවා අපි ජනමාධ්‍යයෙන් දැක්කා.

ආහාර වර්ග, බෙහෙත් වර්ග ප‍්‍රමිතියෙන් තොරයි නම් ඒවා භාවිතය සුදුසු නෑ තමයි. නමුත් මේ පාසල් උපකරණ ප‍්‍රමිතියෙන් නෑ කියලා භාවිතකළාට හානියක් තියනවාද?.

අද මේ දුප්පත් රටේ පාසල් බෑගයක් නැති ෂොපිං කවරයේ පොත්  දමාගෙන යන දරුවෝ කී දාහක් නම් ඉන්නවා ද?. පයට සපත්තු දෙකක් තබා සෙරෙප්පු දෙකක් නැතිව පාසල් යන දරුවෝ කී දාහක් ඉන්නවාද? ආර්ථික වශයෙන් ඉහළ මට්ටමක ජනතාවක් ඉන්නවයි කියන බස්නාහිර පළාතේ ඇත්ත තත්ත්වයත් ඕක’

‘මේ විනාශ කරපු උපකරණ ප‍්‍රමිතියට නැති වුණාට ඒවා නැති දරුවන්ට බෙදලා දෙන්න තිබුණා. නිකං දෙන්න බැරි බැරිනම් ප‍්‍රවාහන වියදමවත් අරගෙන දෙන්න තිබුණා. රේගුව කියන විදියට අපේ රටේ මේ වනවිටත් භාවිතාවන සමහර ආයතනවලින් නිපදවන පාසල් බෑග්, සපත්තු ඇතුලූ ඔය විනාශ කළ දේවල් තියෙන්නේ ප‍්‍රමිතියටම ද? ප‍්‍රමිතියට නැහැයි කියලා මෙවැනි උපකරණයක් භාවිතා කළා කියලා ශාරීරික හානියක් වෙන්නේ නෑ. ප‍්‍රතිමියට නැති ඖෂධයක්, ආහාරයක් ගත්තොත් ඒක කෙනෙකුගේ ශරීරයට බලපාන්න පුලූවන්. නමුත් මේ පාසල් උපකරණ ගින්නෙන් දවන එක පොත් බෑගයක් සපත්තු ජෝඩුවක් නැති දරුවෝ ඒක මාධ්‍යයෙන් ප‍්‍රචාරය වෙනවා දැකලා කොච්චර නම් හුල්ලන්න ඇති ද?