විධායක ඉංජිනේරුවරයා නිලධාරිනියකට පහර දෙයි


( තිලකරත්න දිසානායක)

 

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ විධායක ඉංජිනේරුවරයා විසින් එම අධිකාරියේ උඩුගම්පොළ ප්‍රධාන කාර්යාලයෙහි නිලධාරිනියකට පහරදීමේ සිද්ධියක් මත ඉංජිනේරුවරයා ගම්පහ පොලීසිය මගින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබීය. 


උඩුගම්පොළ කාර්යාලයේ 43 හැවිරිදි කළමනාකරණ සහකාරවරියකට පෙරේදා  පෙරවරුවේ විධායක ඉංජිනේරුවරයාගේ කාර්යාලය තුලදී මෙම පහරදීම සිදුකළ බවට එම නිලධාරිනිය විසින් අද ගම්පහ මූලස්ථාන පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව 53 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 


කාර්යාලයේ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් මෙලෙස පහරදීම සිදුකළ බවට පැමිණිල්ලේ සඳහන් වන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර සැකකරු අද  සවස ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.