විදේශයන්හි සිට එන සිසුන් නිරෝධායනයට මොරටුව තාක්ෂණායතනයේ නේවාසිකාගාරය


(ඩයනා උදයංගනී)

විදේශ අධ්‍යාපන සදහා ගොස් සිටින සිසුන් ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන කටයුතු කිරීම හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාර ගොඩනැගිලි ලබා දී තිබේ.
 
එය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිල වශයෙන් භාරදීම උසස් අධ්‍යාපන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සහ තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
 
මෙම විශ්ව විද්‍යාලයේ ඇති නේවාසිකාගාර කාමර 256 ක් මේ වෙනුවෙන් ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ නිසි බලධාරී ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ලංකාදීපයට පැවසීය.
 
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට අද (4) මෙරටට ගෙන්වූ සිසුන් 207 දෙනා මෙහි නිරෝධායනය වන පළමු කණ්ඩායම ලෙස පැමිණි බව ද මහාචාර්යවරයා සදහන් කළේය.
 
කොරෝනා වංසගත තත්ත්වය සමනය වී විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු යළි අරඹන තුරු මෙම ආයතනය නිරෝධායන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දී තිබෙන බව කී සුනිල් ජයන්ත නවරත්න මහතා මෙහි පැමිණෙන පිරිස්වලට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලූ පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සපයනු ලබන බව ද කීවේය.
 
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, යුධ හමුදාව නියේජනය කරමින් මේජර් ජනරාල් මඩවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීහු සහ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද මෙම ආයතනය යුද හමුදාව වෙත භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.